___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, October 27, 2014

තමා පැහැරගත් යාචකයාගෙන් පිය සෙනෙහස අයැදින දරුවාගේ කතාව

යාචකයෙක් අම්බලන්ගොඩ බස් නැවතුම්පළේ සිය මිත්තණිය සමග රැය පහන් කරමින් සිටි අරුමුගම් සුබ්‍රමනියම් බුද්ධික නැමැති සිව් හැවිරිදි සුරතලා අඳුරේම පැහැර ගෙන ගියේය. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිනයකදීය.
පැහැර ගනු ලැබූ බුද්ධික දරුවාගේ පියා ආරුමුගම් සුබ්‍රමනියම්ය. මව නඩරාසා ජීවරානිය. බුද්ධික කුඩා කළ සිට හැදී වැඩුනේ සීයා හා ආච්චිගේ රැකවරණය යටතේය. බුද්ධිකගේ සීයා විතානගේ ජයරත්නය. ආච්චි වඩිවෙල් සෙල්ල පාකා්‍යම්ය. බුද්ධිකගේ මව හා පියා මෙන්ම ආච්චිත් සීයාත් දුප්පතුන්ය. ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ තේ වත්තක තේ දලු නෙළා දිවි සරිකර ගත්තේ යන්තමිනි.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දිනෙක බුද්ධිකත්, ආච්චිත්, බේරුවලට පිටත්ව යන්නේ ආච්චිගේ සහෝදරියකගේ නිවසටය. සහෝදරියගේ නිවසේ සිට ආපසු පැමිණෙද්දී රෑ බෝවිය. රාත්‍රියේ නෙළුවට යන බස් රථයක් නොමැති වීම නිසා ඔවුහු අම්බලන්ගොඩ බස් නැවතුමේ රාත්‍රිය ගත කළහ.

දරු පැටියා තුරුල් කරගෙන සීත‍ලේ ගැහෙමින් පාක්‍යම් නින්දට වැටුණි. ඇසිපිය හෙළන සැනින් ඇයට දැනුණු මොකක්දෝ වෙනසකින් ඇයගේ නිදි දැහැන බිඳිණි. ඇය ඇස් හැර බලන විට දරුවා අසල නොවීය. දරු පැටියා ඔසවා ගත් අයෙකු දුවනවා ඇය දුටුවාය. “අනේ මගෙ අහිංසක දරු පැටියා උස්සගෙන යන්න එපා” යැයි ඇය විලාප නැගුවාය. දරු පැටියා බේරා ගැනීමට උත්සාහ කළ පාක්‍යම් දිවයද්දී ඇද වැටුණි. ආගන්තුකයා දරු පැටියා රැගෙන පලා ගියේය.
ආච්චි අම්මා මාධ්‍යයට එම සිද්ධිය විස්තර කරන්නට වූයේ මෙසේය.
“වේලාව 10.30ට විතර ඇති. නෙළුවට යන බසය තිබුණේ නැහැ. බුද්ධික පුතත්, මමත් බස් නැවතුම්පළේ ඉන්න කොට බස් රථවල කාඩ් බෙදමින් සිඟමන් යදින ජෝඩුවක් ආවා. ඇයි මෙතන කියලා ඇහුවා. නෙළුවට යන්න කීවාම අපිත් අකුරැස්සට යන්න ඉන්නේ කීවා. පිරිමි පුද්ගලයාගේ මුහුණේ භයංකාර බවක් තිබුණා. මුහුණේ වම් පැත්තේ කැපුම් තුවාලයක සලකුණක් තිබුණා. අපි දෙදෙනා සිටි ස්ථානයේම ඔවුනුත් රැඳී සිටියා. මම පත්තර පිටුවක් එලාගෙන දරුවාත් තුරුළු කරගෙන බිම හාන්සි වුණා. ටික වේලාවකින් නින්ද ගියා. ඇසිල්ලකින් අවදි වෙද්දී දරු පැටියා සිටියේ නැහැ. අර ජෝඩුව හිටියෙත් නැහැ. වටපිට බලද්දී දරු පැටියා නින්දේදීම කර තබා ගෙන පුද්ගලයෙකු වේගයෙන් දිව යනු දුටුවා. පසු පස පන්නා ගෙන ගියත් අල්ලා ගන්න බැරිවුණා. මගේ සැමියාට කතා කරලා අම්බලන්ගොඩ ‍පොලීසියට පැමිණිලි කළා”.
අම්බලන්ගොඩ ‍පොලීසියේ පැමිණිල්ල දැමීමෙන් පසු බුද්ධිකගේ සීයාත් ආච්චිත් දෙදෙනා එක්ව බුද්ධිකගේ මෑතකදී ගත් ඡායාරූපයක් යළි පිටපත් කරවා අම්බලන්ගොඩ නගරය පුරා ඇවිදිමින් ත්‍රිරෝද රථ රියැදුරන්ට, මහ මග යන එන පුද්ගලයින්ට බෙදා හැරියහ. දරුවා පැහැර ගැණුනු යාචකයාගේ  හැඩරුව පෙන්වමින් දරුවා සොයා ඇවිදින්නට වූහ. වතු කම්කරුවන් ලෙසින් ලැබෙන සොච්චම් වැටුප දරුවා සොයා ගැනීමේ වෑයමට නොකා නොබි 
වැය කළෝය. නිවසේ තිබූ වටිනා කියන බඩුබාහිරාදිය ද උගසට තැබූ ඔවුහු ලැබෙන සෑම පණිවුඩයක් ඔස්සේම ගම් නියම් සිසාරා දරුවා සෙවූහ.
බුද්ධික අතුරුදන් වන විට ඔහුගේ මව මැද පෙරදිග රැකියාවකට ගොස් සිටියාය. තම සුරතල් කිරි කැටියාගේ අතුරුදන්වීම කන වැකුණු මොහොතේම එරට ගෙහිමියන්ගේ අවසරයෙන් ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණියාය. දිනෙන් දින සතියෙන් සතිය මාසයෙන් මාසය කාලය ගෙවී ගියද බුද්ධික පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. මේ වන විටත් ඔවුහු  විශාල මුදල් අර්බුදයකට ලක්ව සිටියහ. දරුවා සෙවීම තව දුරටත් ඔවුන්ට කළ නොහැක්කක් විය. එහෙත් තම සුරතල් කිරි කැටියා මතක් වන විට ඇතිවූ හද කකියන වේදනාව ඔවුන් තුරන් කර ගත්තේ කඳුළු වගුරමිනි.
බුද්ධිකගේ සීයා මුදල් ටිකක් ණයට ගෙන අලුත් රැකියාවක් ආරම්භ කළේය. කොළඹ, කුමාර වීදියට පැමිණ කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු, හුළං ගසන බෝනික්කන් හා බැලුම් බෝල මිලදී ගත් ඔහු සති ‍පොළවල් ගානේ ගොස් අලෙවි කිරීමට පටන් ගත්තේය. ඔහුගේ සෙල්ලම් බඩු අතර අතුරුදන් වූ බුද්ධිකගේ ඡායාරූපයද විය.
නගරයකම අලෙවි භාණ්ඩද සමග සේන්දු වන ඔහු පළමුවෙන්ම අදාළ ‍පොලිස් ස්ථානයට ගොස් ‍පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී අතුරුදන් වූ බුද්ධිකගේ ඡායාරූපයක්ද ඔහුගේ දුරකථන අංකයද ලබාදී ‍පොලීසිය මුලින්ම දැනුවත් කරයි. පසුව ඔහු නගරය සිසාරා භාණ්ඩ අලෙවි කරමින් බුද්ධික සොයයි. රෝහල් අසල, සති ‍පොළවල්, තැබෑරුම් අසල, පාසල් අසල, ඔහු භාණ්ඩ අලෙවි කළේය. තමාට දැනගන්නට ලැබුණු තොරතුරු ද අනුව සැකකාර යාචකයා මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවට සැක කළ ජයරත්න කළේ තැබෑරුම් අසල පිහිටි නිවෙස්වලට, වෙළෙඳසැල්වලට 
දරුවාගේ ඡායාරූපය හා දුරකථන අංකය ලබාදී දරුවා ගැන යම් තොරතුරක් දන්නේ නම් අදාළ ‍පොලිස් ස්ථානයට හෝ තමාට තොරතුරුක් දන්වන ලෙස ඔවුන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කරන්නටද අමතක නොකළේය. 
ජයරත්න එසේ නොගිය නගරයක් උප නගරයක් නොමැත. උතුරේත්, දකුණේත්, බටහිරත්, නැගෙනහිරත් පිහිටි දිවයිනේ සියලු ප්‍රදේශවල ඔහු සැරිසැරුවේය. දරුවා අතුරුදන් වූ දා සිට ඔහු නොගිය සති‍පොළක් නොවීය. රෝහලක් නොවීය. සෑම අස්සක් මුල්ලක් නෑරම ඔහු ඇවිදිමින් බුද්ධික සෙව්වේය.
ජයරත්න එසේ ඇවිදිමින් සොයා ගත් තොරතුරු අනුව අදාළ සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරා ඇත්තේ විවිධ නම්වලින් පෙනී සිටිමින්ය. විටෙක සැකකරු හඳුන්කූරු පැකට් අලෙවි කර ඇත. විටක සුවඳ විලවුන් කුප්පි අලෙවි කරන බවට තොරතුරු ලැබි ඇත. විටෙක දරුවා පෙන්වා දරුවාගේ මව නොමැති බව කියා දරුවා රැකබලා ගැනීමට යැයි සිඟමන් අයැද ඇත. තවත් වරෙක තමාට පිළිකාවක් සෑදී ඇති බව දැන දරුවාගේ මව තමා හැර ගිය බව කියමින් තමාට හා දරුවාට ජීවත් වීමට පිළිසරණ පතා සිඟමන් යැද තිබේ. ජයරත්න මෙම තොරතුරු ද එක්රැස් කොට ගත්තේ සැකකරුගේ හැඩරුව කියා දරුවාගේ ඡායාරූපය පෙන්වූ විට මෙම දෙදෙනා දැක ඇති බොහෝ දෙනා ඔහුට පැවසූ කරුණුවලිනි.
සැකකරු කුමාර, මාකවිට, කමල්, කපුවා ආදි ව්‍යාජ නම්වලින් පෙනී සිට ඇති බව හැර ඔහුගේ ස්ථිර ලිපිනයක් හෝ ජාතික හැඳුනුම්පතක් හෝ සොයා ගැනීමට ‍පොලීසියට හැකිවී නැත. සැකකරු ‍පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු කෑගල්ල නුවර පාරේ, බෝගහයට තම පදිංචි ලිපිනය ලෙසත් තම නම ලොකු මුදියන්සේලාගේ කමල් ලෙසත් හඳුන්වා දී තිබේ.
Yachakayaඅදාළ යාචක සැකකරු හලාවත ප්‍රදේශයේ සියානා ෆාතිමා නැමැති කාන්තාව සමග විවාහ වී පසුව ඇය හැර ගොස් ඇත.
ඉකුත් 21 දා දඹුල්ල ‍පොලීසියට ලැබුණු තොරතුරකින් කියැවුණේ දඹුල්ල මිරිස්ගෝනිය ඔය පාලම අසල ගල් තලාවක කුඩා පිරිමි දරුවෙකු සමග සැකකටයුතු පුද්ගලයෙකු සිටින බවය. පණිවුඩය ලද සැණින් මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා විශේෂ ‍පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැරියේය.
ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි සුදේශිකා කෝදාගොඩ, ‍පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත බණ්ඩාර, කාන්තා ‍පොලිස් සැරයන් නදීෂානි මෙන්ම ආනන්ද, චන්ද්‍ර කුමාර යන ‍පොලිස් නිලධාරීහුද එම කණ්ඩායමට ඇතුළත් වූහ.
ළඳු මානාවලින් වැසී තිබුණු මිරිස්ගෝනිය පාලම යට පිහිටි ගල්තලාව මත අමුමිරිස් කරල් කීපයක්ද, ලොකු ලූනු ගෙඩි කීපයක්ද විය. පාන් කැබැල්ලක්ද විය. සැකකාර යාචකයා දරුවාට පාන් කවමින් සිටියේය. ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු නිරුත්තර විය. සැකකරුත් දරුවාත් ‍පොලිස් ජීප් රියේ නංවා ගෙන ‍පොලීසියට රැගෙන ආවේය. දරුවා කාන්තා ‍පොලිස් සැරයන් නදීෂානිට බාරවිය.
‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සියලු දේ වැමෑරුවේය.
“අනේ සර් ‍පොඩි එකාට කිසි කරදරයක් හිරිහැරයක් කළේ නැහැ. ඌ මගේ දරුවා. ගෑනි වෙන දීගයක් ගියා. මම පිළිකා රෝගියෙක්. දරුවාත් මාත් ඇවිදිලා කීයක් හරි හොයා ගන්නවා. දරුවාට හොඳට කන්න දෙන්න ඕනනේ. පාන්, බනිස්, බිස්කට් දුන්නා. පැකට් කරපු බිම බොන්න දුන්නා. මේ ළමයා හරිම ආසයි ටොෆි, චොකලට් කන්න. ඒවාත් අරන් දුන්නා. අම්මා නැති එකා නිසා හොඳට බඩ පිරෙන්න කන්න බොන්න දුන්නා. එතකොට හොඳට නින්ද යනවා.
දරුවා ගෙනාපු දවස් ටිකේ නම් ඇඬුවා. සෙල්ලම් බඩු ගෙනැත් දුන්නා. ටොෆි, චොකලට් දුන්නා. ඇඳුම් අරගෙන දුන්නා. ටිකෙන් ටික දරුවා මට හුරු වුණා. සතියකට දවසක් දෙකක් ඇළකට දොළකට ගිහිල්ල දෙන්නම නෑවා. මළපහ කළාම සෝදා පිරිසිදු කළා. අඬන කොට ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දුන්නා. උදේ ඉඳන් හවස් වනතුරු ඇවිදිනවා. දරුවා වඩාගෙන තමා යන්නේ. සවස් වුණාම පාලමක් යටට හරි සති‍පොළ භූමියක හරි, බස් නැවතුමක හෝ අඟුපිලක නිදාගන්නවා. ‍පොඩි එකාව මදුරුවෙක්වත් කන්න දුන්නේ නැහැ. හොඳට රෙද්දකින් ‍පොරවනවා”. යනුවෙන් සැකකරු පවසා ඇත.
දරුවාගේ නම රාජු ලෙස හඳුන්වා දී ඇත. පියාගේ නම ලෙස ලොකු මුදියන්සේලාගේ කමල් ලෙසත් දරුවාගේ නම ලෙස ලොකු මුදියන්සේලාගේ රාජු ලෙසත් ‍පොලීසියට පවසා ඇත. 
‍පොලිස් ප්‍රශ්්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ‍පොලිස් සිර මැදිරියක දමා ඇත. කුඩා දරුවා නදිෂානි සැරයන්වරියට භාරකර පැය කීපයකදී දරුවා ‍පොලිස් නිලධාරීන් සියලු දෙනාගේම සුරතලෙකු බවට පත්විය. දරුවා සොයා ගන්නා විට අපිරිසිදු තත්ත්වයේ සිටි අතර සැරයන් නදීෂානි දරුවාට මවක් වූවාය. ඇය දරුවාගේ දත් මුහුණ, කට සෝදා නහවා අලුත් ඇඳුම් මිලදී ගෙන ඇන්දුවාය. පවුඩර්වලින් සුවඳවත් කළාය. දරුවා කැමැති ආහාර පාන ගෙනත් දුන්නාය. දරුවා විටෙක යෝගට් එකක් ඉල්ලුවේය. එය ගෙනවිත් දීමෙන් පසු එය කෑමට පෙර “තාත්තේ යෝගට් එක කන්නදැයි” ඇසුවේය. කමෛන් රාත්‍රිය ළඟාවෙමින් පැවතුණි. සැරයන් නදීෂානි පුටුවකට බරදී දරුවා උකු‍ලේ තබා ගෙන හුන්නාය. “නැන්දේ නිදිමතයි නේද? නැන්දා පුටුවේ නිදා ගන්න. මම තාත්තා ළඟින් නිදා ගන්නම්” යැයි පවසමින් දරුවා ‍පොලිස් සිර මැදිරිය ඇරවා ගැනීමට යතුර සෙව්වේය. අනිකුත් සැකකරුවන් සමග සිර මැදිරියකට කුඩා දරුවෙකු දැමීම අනුචිත ක්‍රියාවක් බැවින් සිරමැදිරියේ දොර අසල පැදුරක් දමා දරුවාට නිදා ගන්නට සැරයන්වරිය සැලැස්සුවාය. දරුවාගේ “පියාද” (සැකකරු) තමා දරුවාට පෙනෙන පරිදි සිර මැදිරියේ දොර අසලම නිදා ගත්තේය. දරුවාගේ හිසත් “පියාගේ” හිසත් ගෑවෙන නොගෑවෙන තරමේ ළඟින් හිඳ රාත්‍රිය ගත කරනු දුටු බොහෝ ‍පොලිස් නිලධාරීන්ගේ නෙතට කඳුළු ඉනුවේය.
දරුවාගේ ආච්චිත්, සීයාත් දඹුල්ල ‍පොලීසියට පසුදා පැමිණියහ. දරුවාගේ උප්පැන්න සහතිකය, තුන් හැවිරිදි වියේදී ගනු ලැබූ වර්ණ ඡායාරූපයද මූලස්ථාන ‍පොලිස් පරීක්ෂකවරයාට පෙන්වීය. දරුවා තම මුණුපුරා බවට ඔවුන් හඳුනා ගනු ලැබුවද දරුවාට තම ආචිච් හා සීයා එතරම් දුරට හඳුනා ගැනීමට නොහැකි විය.
දරුවාගේ නීත්‍යනුකූල හිමිකාරිත්වය පැවරීමට අධිකරණයට භාර විය. සැකකරු (පියා) දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිලුකා සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර දරුවාගේ ආරක්ෂාව සහතික කරනු පිණිස අනුරාධපුරය අභය ළමා නිවාසයට බාර දෙන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය. සැකකරු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳ වාර්තාවක් ලබන 03 දා දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුරය බන්ධනාගාර නිලධාරීන්ට වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
කෙසේ වෙතත් දරුවාගේ හිමිකාරිත්වයට පාර්ශ්ව දෙකම හිමිකම් කියා සිටින බැවින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මගින් දරුවාගේ සැබෑ හිමිකාරිත්වය ඉදිරියේදී අනාවරණය වනු ඇත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X